Jun
1

පහල ගෙදර නම්බර් එක ලියලා ගෑණු ළමයින්ට දෙනවා – මගේ දුව ඉන්නෙ ලෝකෙ ඉන්න හොඳම අම්මා ගාව

1255 Views
මදුමාධව අරවින්දට රසික ආදරය අහිමි වෙයිද?
මට ඕන ගොඩාක් අයගේ ආදරේ විඳින්න කියලා මං හිතුවේ තරුණ කාලේ. මම වැඩිහිටියෙක් වෙනකොට මට තේරුණා මට එහෙම කිසිම උවමනාවක් නෑ; මේ රටේ ගොඩාක් අය මට ආදරේ උනත් ඒක මට එතරම් ආදාළ නැහැ කියලා. අද මම ප්‍රාර්ථනා කරන්නේ මට සිංහල අය පමණක් ආදරේ විය යුතුයි කියලයි. ඒ තැනට මගේ හිත හදාගත්තේ මේ දේශපාලනය තුළ මං දැක්ක ඉතා භයානක දේවල් නිසා. සිංහලයන්ට විරුද්ධව කෙරෙන වැඩකටයුතු අපි අඳුනගෙන තියෙනවා. මිනිස්සු ඒවා තාම දන්නෙත් නෑ. ඒ නිසා මං තීරණය කළා කලාව අයින් කරලා මේ මාවත තෝරා ගන්න. සිංදු නගරේ ඉඳලා අපි යනකොට අපි ගියේ හරි සතුටෙන්. නමුත් අපි සින්දු නගරේ ඉඳලා යනකොට අපි නොදැනුවත්වම මේ රට වෙනස්වෙලා තිබුනා. කොළඹින් අපිව එළවලා තිබ්බා. කොළඹ අද සිංහල මිනිස්සු නෑ. උතුරේත් නෑ. නැගෙනහිරත් නෑ. මැදත් නෑ. මූදු කරෙත් නෑ. ඒ හින්දා සිංදු කියනවට වඩා මගේ ජාතිය වෙනුවෙන් සිංහලූන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා, තමන්ගේ ඉඩම් අනිත් ජාතිකයන්ට විකුනන්න එපා කියලා කියන්න දේශපාලනයක් ඕන. ඒවා හැංගි හැංගි කියන්න බෑ. ඉතිං ඒ දේ කරන්න මං තීරණය කළා. ගුටිකමින් බැනුම් අහමින් නින්දා අපහාස විඳිමින් අවලාද ලමින් මං මේ දේ කරනවා.

ඔබේ ආදරණීය බිරිඳ ඔබේ මේ මතවාදය සහ දේශපාලනය ගැන මොකද කියන්නේ?
සංවාදවල මරාගෙන,එතනින් යනකොට කරට අතදාගෙන යන ජාතියේ කෙනෙක් නෙමෙයි මං, සමහර දේශපාලනඥයෝ ඉන්නවා මුලිච්චි වෙනවටවත් මං කැමති නෑ. මේ රටට ඒ තරමට ඔවුන් පිළිල. ඒ වගේ වෙලාවක මම ඉස්ලාම් අන්ත වාදයට විරුද්ධව කරන කතා නිසා ඉස්ලාම් අන්තවාදයට උදව් කරන පාතාලයෙන් මට මරණ වරෙන්තු තියෙනවා. සෝම හිමි, අරියදම්ම හිමිට උනා වගේ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන අයව කවුරුත් කියනවා වගේ කොයියම් විදියකින් හෝ හිර කරනවා. ඉතිං මම ඇගෙන් මුලින්ම ඇහුවා එහෙම අන්තවාදියකුගේ මොකක් හෝ මන්න පාරකට හෝ වෙඩි උන්ඩෙකට මම නැති වුනොත් ඔයාට ඒක දරාගන්න පුළුවන් වෙයිද කියලා. මොකද වෙඩි තිබ්බත් මේ කතාව මං කියනව කියලා. ඉතිං මං දැක්කා ඇය අයගේ මුහුණු පොතෙත් ලියලා තිබ්බා එහෙම අහපු වෙලාවේ ඇයට දැනුනේ මහත්වූ ආදරයක්. එහෙම කෙනෙක් ඒ වගේ හේතුවකට නිහඬ වුනත්, ඒ ගැන දුක් නොවෙනවා කියන තැන ඇය ඉන්නවා කියලා. ඒ නිසා ඇය මට යෝධ ශක්තියක්. සිංහලයන් වෙනුවෙන් කළ යුතු කාරණාව සමහරවිට හොඳින් කරන්නත් වෙයි. බැරි උනොත් නරකින් හරි කරනවා.

අතීතයේ කලාකාරයා. මතකද සුන්දර 90.
අපොයි ඔව්! කොහොමත් මගේ මතක හරි හොඳයි. 1989 දෙසැම්බර් මාසේ 31 දා හරියට ම රාත්‍රී 12 ට 90 ජනවාරි පළවෙනිදා එළඹෙද්දී සිත් සිත් සිත් ගීතය ජාතික රූපවාහිනියේ තාත්තා ගේ වැඩසටහනක විකාශය වෙනවා. එදා ඉඳලා තමයි මගේ වසන්ත කාලය පටන් ගත්තේ. මගේ බඩ පිරෙන්න ගත්තේ. මට ආසා ඇඳුම් අඳින්න ලැබුනේ. මට කාටහරි උදව් කරන්න ලැබුනේ.

හැමදේම. මට අවුරුදු 15 යි එතකොට. කොට කලිසමකුත් ඇඳන් රතිඤ්ඤා දදා ඉද්දී අම්මා මාව ගෙට ඇදන් ගියා එන්න එන්න ඔයාගේ සිංදුව යනවා කියලා. මං ටිකක් තක්කඩියි ඉස්කෝලේ යන කාලෙත්. ආදරේ උනාට දඟ නිසා ලොකු සැලකිල්ලක් නෑ කොහෙවත්. හැබැයි එදා මං ගෙදරට යනකොට ගෙදර සෙනග පිරීලා හිටියා. මට පුටුවක් තියලා තිබ්බා ඉඳගන්න. කවදාවත් මට එහම පුටු තියලා නෑ ඉඳගන්න. ඉතිං මට එවේලේ තේරුණා කවුරුත් නොසලකා හිටපු තක්කඩි පුතාට ගෞරවයක් ආදරයක් ලැබෙනවා කියලා එක පාරට. ගීතය ප්‍රචාරය වෙද්දී අම්මා මගේ උරහිස මිරිකූ හැටි මට තාම හොඳට මතකයි. ඒ මොහොතෙන් පස්සේ නිකන්ම නිකං මිනිසෙක්ට මදුමාධව අරවින්ද කියලා නමක් ලැබෙනවා. එතනින් පස්සේ කවුරුවත් මට සිංදු කියන්න දුන්නේ නෑ. කලා ක්ෂේත්‍රයේ උනත් සමහරුන්ට මාව රුස්සන්නේ නෑ. මං කෙරෙහි පොඩි භීතිකාවක් තියෙනවා. මං කැමතියි ඒකට. සිත් ගීතය ගැයුවට පස්සේ අවුරුදු පහක් යනකං රූපවාහිනිය මට තහනම් උනා. ඒ ගැන තරහක් නෑ. ඒ කාලේ සංගීත වැඩසටහන් කළ සමහරු මැරිලා. සමහරු ජීවිතේ මරාගෙන. අවුරුදු තිහකට පස්සෙත් මං ඉන්නවා තාම. රාජ්‍යයක් පහළ වෙන්න එක රාත්‍රියක් ගියා වගේ ගායකයෙක් බිහිවෙන්නත් ගීතයක් බිහිවෙන්නත් එක දවසයි ගියේ. එක දවසින් රටේම ජනප්‍රිය වෙච්ච සින්දු මම දන්නේ දෙකයි. එකක් ආත්මාගේ ලිය තඹරා. අනික මා ගැයූ සිත් සිත් සිත්.

එතකොට පලවෙනි ප්‍රසංගය?
බණ්ඩාරවෙල තිබුනේ. ජයසිංහ මහත්තයට අයිති සියැක් සංගීත කණ්ඩායමෙන් සංගීතය. ගානක් කියන්නවත් දන්නේ නෑ. එදා ඕලෙවල් විභාගේ මොකක් හරි පේපර් එකකුත් තිබ්බා. අම්මා ඇහුවා පුතේ හෙට මොකක් කරන්නද කැමති සංගීත ප්‍රසංගෙට ගිහිල්ලා විභාගෙට යනවද නැත්නම් ප්‍රසංගය අත්ඇරලා දාලා විභාගෙට යන්ද කියලා. මං ගත් කටටම කිව්වා විභාගෙට යන්, හැබැයි ප්‍රසංගයට යන්නම ඕන කියලා. 1200ක් ලැබුණා මතක හැටියට. රටක් රාජ්‍යක් ලැබුණා වගේ එදා ඒ මුදල මට. ඒකෙන් රු 200 ක් හොරකන් කරන් දාහක් මං අම්මගේ අතේ තිබ්බා. එතනින් එහාට හැම ප්‍රසංගයේම මං සීයක් විතර හොරකං කරන් අම්මට තමයි සල්ලි ගෙනිහින් දුන්නේ.

ඇයි අම්මට සල්ලි දෙන්න හිතුවේ?
ඒ වෙනකොට මගේ තාත්තගේ රස්සාව නැති කළා රූපවාහිනිය. එතකොට අපේ ගෙදර ජීවත් කළේ මම අවුරුදු 15 ක පුතෙක් හැටියට. මට වඩා ගොඩක් වයස අයට මට මචං කියන්න වුනේ. මං මගේ වයසට වඩා මහලූයි. මං මගේ වයසට වඩා වැඩ කරපු කෙනෙක්. මං දක්ෂයි කියන නෙමෙයි එකේ අදහස. මට සිද්ධ වුනා එහෙම කරන්න. මං දැනන් හිටියා අම්මට තනියම මේක කරන් යන්න බෑ කියලා. සීයක් දෙසීයක් මං තියා ගන්නවා යාලූවෝ එක්ක වියදමට.

ඉස්සර මරදානේ සම්ප්‍රදාය, කොල්ලෝ කාලා බිල් ගෙනාවම දුවනවා. මට සල්ලි හම්බුනාට පස්සේ අපි කාලා බිල ගෙවන්න පටන් ගත්තා ලොක්කෙක් වගේ. ඒ කාලේ ඒ ජීවිතේ ගෙවන්න මං සීයක් දෙසීයක් තියා ගත්තා.

වෙන රස්සාවක් ගැන හිතලම නැද්ද?
මං ජීවිතේ වැඩිපුරම විඳින්නේ නිදහස. අපේ ගෙදර ආව කලාකාරයින් මං දැකලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ හරි නිදහසේ ගලාගෙන යනවා. ඔවුන් හරි නිදහස් මිනිස්සු. අනික මට කාගෙවත් යටතේ රස්සාවක් කරන්න බෑ. ඉතිං මේ ප්‍රසංග වේදිකාව සහ කලාව මහා නිදහසක් තියෙන දෙයක් හැටියට මං දැක්කේ. මම ඒකට ප්‍රිය කළා. මොකද ඒක ඇතුලේ මට කාටවත් නැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා හිතපු හින්දා. හැබැයි ඒකට ආවට පස්සේ තමයි මං දැනගත්තේ සින්දු දාගන්න නං නැවෙන්න ඕන, බොන්න අරං දෙන්න ඕන නැත්නම් තව තව ඒවා. ඉතිං ඔය මොකක්වත් බැරි හින්දා තමයි සින්දු කියන ඒකත් නතර කළේ. මං ඒක කියන්න අකැමති කව්රු හරි හිතයි මං දුකෙන් කියලා. නෑ මට කිසිම දුකක් නෑ, එහෙම දේවල් කළ කිසිවෙක් අද වෙද්දී මගේ තරහ කාරයනුත් නෙමෙයි. දැන් ඔවුන් මගේ යාලූවෝ. මං හිනාවෙනවා අහනවා උඹලා ඇයි බන් එහෙම මට කළේ කියලා. එහෙම තරහක් නෑ. මොකද මං ආවේ වෙන වැඩකට කියලා මං දැන් දන්නවා. ඒ වැඬේ කලහම දැන් මට ඇති. මධුමාදව අරවින්ද කියන්නේ මං කරන්න ආව වැඬේට මට පාලමක් වෙච්ච කෙනා විතරයි.

කොතනද මේ හැරවුම් ලක්ෂය?
සෝම හාමුදුරුවෝ තමයි අවස්ථාව. මට උන්වහන්සේ එක්ක ගමින් ගමට යන්න අවස්ථාව උදා වෙනවා. මම මහින්ද හාමුදුරුවන්ගේ කවි ගයනව. උන්වහන්සේ කතාව කරනවා. උන් වහන්සේගේ කතා ඇතුලේ තිබ්බ පණිවිඩය තමයි මගේ දේශපාලනය. සිංහලූන්ට රටක් නැතිවෙනවා. ඒක වලක්වන්න බෑ. වෙනත් ජාතියකට මේ රට අයිති වේවි. එක තත්පරේකින් හරි ඒක පමා කරන්න පුළුවන් නම් ඒක කරන්න උත්සාහ ගැනිල්ලක් පමණයි මේ.

ඔබේ ගීත කීයක් තියෙනවද?
ඇත්තම උත්තරයක් දෙන්නම්. මං දන්නේ නෑ. කොවුලා හඬලනු නෑ මට ඇසුනේ, ලඹ සවන් රන් පටින්, සිත් සිත් සිත්, මුහුද හඬන වෙලාවේ, සිහිනයක් සිහිවී වගේ ජනප්‍රියම ගීත නං හතක් අටක් විතර ඇති නේද.

සුන්දර 90 ඔබ?
මං දැකලා තියෙනවා නාමල් උඩුගම එහෙම තවමත් කියනවා ඔහු දැක්ක, වේදිකාවේ ලස්සනටම අඳින කෙනා මම. සමහර දේවල් ඔහුත් මගෙන් ගත්තා කියලා. ඒ කාලේ හිත හිත ඇඳුම් මැහුවා, ලස්සනට වේදිකාවේ නටන්න ඕන ගීත ගයනකොට කියලා හිතුවා. ආර්ථිකව ශක්තිමත් උනා මම. ප්‍රසංග තිබුනා පුදුමකාර තරම්. දැන් නම් ජනප්‍රිය උනාම මාධ්‍ය ගෙනල්ලා ආදරෙන් සලකනවා. ඉස්සර පොඩි කුහක කමක් තිබ්බා. ඒ නිසා ඔවුන් ගීත ගයන්න දුන්නේ නෑ මට. අවස්ථා නැති කරන ඒවා මං දැක්කා. නමුත් මං තරහ වුනේ නෑ ඒකට. නමුත් එදා මං මටම ගිවිස ගත්තා කොතෙක් කල් සින්දු නොකීවත් මගේ නම මිනිස්සුන්ට අමතක වෙන්න මං දෙන්නේ නෑ කියලා. ඒක මට කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා කියනවා කියල මට හිතෙනවා.

සුන්දර 90 වේ රසික ප්‍රතිචාර
ඒ කළේ ජංගම දුරකථන තිබ්බා නං විනාසයක් වෙයි. ඒ දවස්වල මට ටෙලිෆෝන් නෑ. අපේ පල්ලෙහා ගෙදර ක්‍රිස්ටෝෆර් පෝල් ගේ ගෙදර නම්බර් එක ලිය ලිය දෙනවා ගෑනු ළමයින්ට. ඕක තමයි වැඬේම. නැත්නම් ලිපිනය. හැබැයි 90 උදාවුණ මොහොතේ පටන් ඒ දේ මට වෙන්න පටන් ගත්තා. මේක අතිශයෝක්තියක් නෙමෙයි. නාමල් උඩුගම සාක්ෂි දරාවි . මටත් නංගියෙක් හිටියා නම් කියලා කුමරි පත්තරේට එක ලිපියක් ලියලා තියලා තිබ්බා. ඒ ලිපියට මගේ ලිපිනය දාලා තිබුනා ලියන්න කියලා. ගෝනි අටක් ලියුම් ආවා ඒ එක පුවත්පත් ලිපියට. අපේ අම්මා ඔලූවේ අත තියා ගත්තා කොහොමද මේවා කියවන්නේ කියලා. ඒ කාලේ සමහර වෙලාවට එකපාර පෙම්වතියන් ගොඩක් හිටියා. සමහර පෙම් කතා කතාම විතරයි. සමහර යාළුවුන ගමන් කසාද බඳින්න අහපු ගෙවල් දෙකකින් මං දුවලත් තියෙනවා. අහපු සැනින්ම දිව්වා. සමහර ඒවා ටිකක් කල් ගිය කතා. මමත් නිල්මිනිත් වෙන් වෙනකන් මට විරහ ගීතයක රසක් හරියට දැනිලා තිබ්බේ නෑ. ආදරේ මතක ගොඩයි ඉතිං.

මේ නගරේ ගොඩක් අයට මට වගේ මේකේ රැකෙන්න බැරි උනා. බන් බලං ඉන්නකොටම අර සුනාමි ඇදගෙන ගියා වගේ සල්ලි නැති නිසා එක එක්කෙනා ළඟ හුරතල් නොවිච්චි හින්දා එක එක්කෙනා ළඟ දැන ගහපු නැති හින්දා එනකොට නැගිට්ටේ නැති හින්දා ගොඩාක් දක්ෂයෝ මේ නගරේ අත් හැරියා. මං බලං ඉඳලා තියෙනවා ගහගෙන යනවා. මට බේරගන්න බෑ. මටත් එහෙම ඒ දවස්වල ලොකු හයියක් නෑ කෙනෙක්ව නවත්වා ගන්න. මට මාව නවත්වා ගන්න පුළුවන්. ඉතිං මං කල්පනා කරනවා මට අයිති ගීත කීයක්ද මං දන්නේ නෑ පහක්ද හයක්ද ඒ සියල්ලම දවසක නොමිලේ වැඩිකාලයක් නෑ බොහොම මෑතක නංගි කෙනෙක්ට හෝ මල්ලි කෙනෙක්ට දෙනවා. මේ නගරේ මුදල් වලින්, සම්බන්ධතා වලින්, නැත්නම් එක එකාට ඕන හැඩ නොගත්ත බැවින්, අත හැරලා යන්න සිද්ධ වෙච්ච කෙනෙක්ව මම අනිවාර්යයෙන් මගේ ඇස් දෙකෙන් බලාගෙන ඔහුව හෝ ඇයව තරුවක් කරලා යන්නයි මට ඕන.

ඔබේ දුව කැමති වෙයිද ඔබේ ගීත වෙන කෙනකුට දෙනවට?
මං හිතන්නේ නෑ මගේ දුව එහෙම අකැමති වෙයි කියලා. මගේ දුව ලෝකේ ඉන්න හොඳම අම්මත් එක්ක ලොකු වෙනවා. මම හිතන්නේ නෑ වෘත්තිමය කලා ශිල්පිනියක් බවට මගේ දුව පත්වෙන්න ඕන කියලා. මොකද ඒ තරම් තක්කඩි කලාවක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇතුලේ ඇයට ලබන්න දෙයක් නෑ. අපි දෙදෙනාම මැරෙනකන් ශ්වෙතාට තාත්තෙක් සහ අම්මෙක්. මගේ හැමදේමත් ඇයට.

ඇගේ අම්මගේ හැමදේමත් ඇයට.
ඇගේ අම්මයි මායි හදපු හැමදේමත් ඇයට. ඒ නිසා ඇයට පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් වේවි. මං හිතන්නේ නෑ මගේ ලේ තියෙන දරුවෙක් ඒ හැටි තණ්හා හිතයි කියලා, ගීත වලටයි නම් වලටයි.

දිවයින
තවත් බලන්න

Leave a Reply

[fbcomments]